Posted by : a Thursday, March 21, 2013

මට ඒ කරුම ලෙඩේ හැදුනෙ මීට අවුරුද්දකට විතර කලින්. අඩුවෙයි අඩුවෙයි කියල හිතල කාගෙන හිටියත් වුනේ දවසින් දවස වැඩි වුන එක විතරයි. තත්වය නරක අතට හැරෙන බව තේරුම් ගත්ත මම නොයෙක් ගොඩ වෙදකම් කරන්න පටන් ගත්ත. කෝ එකක්වත් ඇහුවෙ නෑ. හැබැයි සමහර ඒවට අඩුවක් පෙනුන. ඒත් ආයෙ තිබුන විදියටම කාලයක් යද්දි ලොඩ් මතු වුනා.
තියන ලැජ්ජාව නිසා හංගගෙන හිටියත් තනියම විසදුම් හොයන්න බැරි බව තේරුනාට පස්සෙ මට විශ්වාසවන්තම වෛද්‍යවරු දෙතුන් දෙනෙකුගෙම උපදෙස් පැතුව. සාර්ථක වුනේ නෑ. අන්තිමේ හොදටම වැඩිවුනා. බැරිතැන මං දන්න දන්න ඔක්කොම වෙද්දු ගාවට ගියා. මේ මං කියපු වෛද්‍යවරු ඔක්කොම වෙදකම් කලේ අත්දැකීමෙන්. සමහරුන්ට කලින් මේ ලෙඩේ හැදිල හොඳවෙලා තිබුන. සමහරුන්ට හොඳ වෙලාම නෑ. කවුරු ලග වත් මේකට හරි බේතක් තිබුනෙ නෑ. හැමෝම කිව්වෙ බේතක් තාම හොයාගෙන නෑ කියල. අතරින් පතර පය බරවායට පිටිකර බෙහෙත් බඳින වෙද්දුත් මුණ නොගැහුනා නොවෙයි. හොඳ වෙලාවට ඒ උපදෙස් එක කනකින් අහල අනෙත් කනෙන් පිට කරන්න තරම් මට මොලේ තිබුන.
ඒ වුනත් දක්ෂ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම ලෙඩේ හදුනගත්ත. ඒක විෂබීජයක්. ‘ඔහු‘. ඔහු නැමති විෂබීජය දරුණුලෙස ආසාදනය වෙලයි තිබුනෙ. ඒ අය කිවුවෙ මේකට බෙහෙත් එක එක්කෙනාට ආවේණික නිසා හරියන බෙහෙත මටම ඉබේ හම්බවෙයි කියල. හැබැයි ඒ කොච්චර කාලෙකින්ද කියල එයාලට කියන්න බැරිවුන නිසා මටත් ඒ උපදෙස් එච්චර වැදගත් වුනේ නෑ.
මේ අතර ලෙඩේ උත්සන්න වුනේ මට ජීවිතෙත් එපා වෙන තැනට පත් කරල. කර කියා ගන්න දෙයක් නැතුව මම ජීවත් වුනේ හුස්ම ගන්න මළ මිනියක් වගේ.
ඒත් එක දවසක්. ඔව් ඒ අතරෙ එක දවසක් අහම්බෙන් මං නුඹව දැක්කෙ. ඇත්තෙන්ම පළමු දැක්මම මට යම් සහනයක් ගෙනාව. ඒත් මං දැනං හිටියෙ නෑ මේ තමයි ඒ බේත කියල. ආයෙ ඒ බේත ගන්න ඕනෙ කියලවත් කල්පනාවක් මට තිබුනෙ නෑ. බඩේ අමාරුවක් හැදුනම බල්ලො ‍පොළවෙ වලක් හාරගෙන පස් කන්නෙත් බළල්ලු තණකොළ කන්නෙත් කවුරුත් උගන්නල නෙවේ. ඒ ඉවට. මටත් හොඳටම අමාරු වුන වෙලාවක ඒ ඉව පහල වෙලා නුඹ හොයාගෙන ආවෙ.
මුලින්ම බොහොම පොඩ්ඩක් තමයි මං පාවිච්චි කලේ. හරිම වේගයෙන් සුවය දැනෙන බව තේරුනා. ඒ සත්‍ය වශයෙන්ම නුඹ, නුඹ නැමති ඹෞෂධය නිසා බව මට තේරැම් යන්න වැඩි කලෙයක් ගියෙ නෑ. හැමදාම මම ඉන් යම් ප්‍රමාණයක් ගන්න පුරුදු වුනා. බලාගෙන ඉන්නැද්දි මම සුවපත් උනේ. සුවය මට දුන්නු පුදුමාකිර සැහැල්ලුවට මම වසග වු‍නා.
මම තව තවත් ඒ ජීව ඹෞෂධය භාවිතා කලා. ටික දවසක් ගියාමයි මට මතක් වුනේ මං දැන් සුවපත් නිසා ඹෞෂධ අවෂ්‍ය නැති බව. මම බේත නතර කලා. එක දවසයි ගෙවුනෙ මෙන්න මං ආයෙ අසනීපෙන්. මං ආයෙත් ගත්ත. ඒත් පරිස්සමට අඩු කර කර. ටික ටික තමයි තේරුනේ දැන් හැදෙන්නෙ කලින් අසනීපෙ නෙවෙයි. වෙන එකක්. ඒක හැදුනොත් කලින් එකට වඩා අන්තයි. දැන් බේත් නතර කරන්නත් බෑ. තව බොන්නත් බෑ. මට මතකයි, මට බේත් නතර කරන්න තිබුන, ලෙඩේ හොඳ වෙච්ච ගමන්. ඒත් මට ලෝබ හිතුන, නුඹ දුන්නු සුවයෙන් මිදෙන්න. දැං මං ඇබ්බැහි වෙලා.

අනේ නුඹේ ඇග වටේටත් ලේබලයක් ඔතල තිබුනනම්..
‘ නියමිත මාත්‍රාව පිළිපදින්න‘ කියල.

මම ආයෙ අසනීප නොවෙන්නම තිබුන.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලන්තෑරුම් හිමිකාරි

එලි වර්ග

ආලෝකමත් වන අය

ආලෝකමත් වූ ගණන

Copyright © Samanalee Jayamaha